May 8, 2019

ආගම,රාජ්‍යය සහ යුද්ධය ...


- සුමුදු ගුරුගේ
08/05/2019

හැඳින්වීම


චිම්පන්සීන් සහ මිනිසුන් හැර වෙනත් කිසිම සතෙකු තම බල ප්‍රදේශ අරක්ෂා කිරීම / වැඩි කර ගැනීම වෙනුවෙන් තම ස්ව-වර්ගයා මරා නොදමයි.

එසේම,තම ජන වර්ගයාගේ බල ප්‍රදේශ සලකුණු කිරීමේ ක්‍රියාන්විතය හෙවත් යුද්ධය යනු, මානව ඉතිහාසයේ වසර 15,000 කට පෙර පටන් ගෙන අද දක්වාම පවතින සාහසිකම සහ නිර්ලජ්ජිතම ක්‍රියාවලියයි.

මෙම යුද්ධය නම් සංසිද්ධියේ මූල හේතුව කවරේද? 

පෙර කථනය

මානවයාගේ කථාව ක්‍රි. පූ. ලක්ෂ දෙකක් දක්වා පැරණි එකක් ...
ඒ අතරම ආගම්වල බිහිවීමත් ක්‍රි. පූ. 40,000 දක්වා පැරණි කථාවක් ...
අද වන විට ලෝකයේ ආගම් 4,000 කට වඩා වැඩි ප්‍රමාණයක් තිබෙනවා ...
මේ සියළු ආගම්වල මරණින් මතු ජීවිතයක් ගැන කතා කරනවා ...
එසේම මෙම සියළු ආගම් අදහන්නන් විසින් ලෝකයේ පරම සත්‍යය පිලිබඳව පැහැදිලි කරන්නේ තමන්ගේ ආගම පමණක් බවත් විශ්වාස කරනවා ...
ලෝකයේ බිලියන 07.7 ක ජනතාවගෙන් 80% ක්ම ඉහතකී යම් ආගමක් සහ මරණින් මතු ජීවිතයක් විශ්වාස කරන බව සංඛ්‍යාත්මකව ගත් කල අපිට පැහැදිලිව පෙනෙන දෙයක් ... 

අනිත් අතට ලෝකයේ ජන සංහාරක යුද්ධ ප්‍රයාණයන් ඇතිවී දැනට අවුරුදු 15,000 ක් පමණ වෙන බව පුරා විද්‍යා සාක්ෂි පවසනවා ...
එහි තේරුම,මානවයා ඔහුගේ ඉතිහාසය තුල වසර 185,000 ක් පුරා "ජන සංහාරක යුද්ධ ප්‍රයාණයන්" නොදැන සිටි බව නොවේද?
එසේම මානව ඉතිහාසයේ සටහන් වූ සියළු ජන සංහාරක යුද්ධ ප්‍රයාණයන් පසු පස කිසියම් ආගමක් සක්‍රීය ලෙස මැදිහත් වූ බවටද පුරා විද්‍යාව සහ ඉතිහාසය සාක්ෂි දරණවා ...
මෙය අදට පවා අපට හොඳින් පෙනෙන්නට තිබෙන කාරණයක් ...
අද ලෝකයේ පවතින රාජ්‍යයන් 193 න් 60 කට වඩා ප්‍රමාණක් යම් ආකාරවල බල / දේශ සීමා අරගලයන් වල යෙදී සිටිනවා ...

සත්වලෝකයේ බහුතර සත්ව වර්ගයන් තම බල ප්‍රදේශ ආරක්ෂා කර ගැනීමට තම වර්ගයේ වෙනත් සතුන් සමග ගැටුම් ඇතිකර ගත්තත්, "ජන සංහාරක යුද්ධ ප්‍රයාණයන්" කියන්නෙ තමන්ගේ බල සීමාව ආරක්ෂා කර ගැනීමට  සහ වැඩිකර ගැනීමට  චිම්පන්සීන් සහ මිනිසුන් අතර පමණක් සිදුවන සාහසික සහ නිර්ලජ්ජිත ක්‍රියාවලියක් ...

ඒ කියන්නෙ, තමන්ගේ භූමි ප්‍රදේශය ආරක්ශා කර ගැනීම සහ වැඩිකර ගැනීම සඳහා තම වර්ගයේ අසල් වැසි රංචුවල සතුන් මරා දමන්නෙ චිම්පන්සීන් සහ මිනිසා පමණක් බවයි ...

ලෝකයේ මේ වනවිට සමාජ විද්‍යාව, මනෝවිද්‍යාව, දේශපාලන විද්‍යාව, විවිධ ආගම් සහ අනෙකුත් විෂයයන් හරහා මෙම "ජන ඝාතක යුද්ධ ප්‍රයාණ" වල හේතුව පැහැදිලි කර දී ඇතත්, ඒවා හුදෙක් මතු පිට පැහැදිලි කිරීම් පමණක් බව අපට සාක්ෂාත් වෙන්නේ මේ පැහැදිලි කිරීම් ප්‍රායෝගිකව උපයෝගීකරගෙන තවමත් මානව වර්ගයා හට මේ යුද්ධය නම් සාහසික සහ නිර්ලජ්ජිත සංසිද්ධියෙන් ගැලවී ගත නොහැකි වුන නිසා නොවේද?

1. *යම් ආගමක් ඇදහීමට / විශ්වාස කිරීමට මිනිසා හට පමණක් ඇති රික්තකය කවරේද?

2. ච්ම්පන්සීන්ට සහ මිනිසාට පමණක් ආවේණික තම භූමිප්‍රදේශය ආරක්ෂා කරගැනීම සහ / හෝ වැඩි කර ගැනීම උදෙසා තම වර්ගයේම අසල් වාසී රංචු සමූල ඝාතනය කිරීම කෙසේ උරුම වීද?

මේ අවුල සැබවින්ම ස්වභාවිකද? නො එසේනම් සංස්කෘතිකද?

මේ උත්සාහය ඉහත ප්‍රශ්ණ වලට Anthropology, Zoology, Psychology, Brain science සහ Human biochemistry හරහා පිලිතුරු සෙවීමට තැත් කිරීමකි.

*මිනිසාට ආගමක් ඇදහීම සඳහා ඇති ජීව විද්‍යාත්මක රික්තකය පිළිබඳව  දැන ගැනීමට අවශ්‍යනම් පහත ලින්කුව භාවිත කරන්න ... 

ආගම,රාජ්‍යය සහ යුද්ධය

තම රංචුවේ භූමිප්‍රදේශ සීමාවන් ආරක්ශා කර ගැනීම පිණිස සටන් වදින සත්ව කොට්ටාශ බොහෝය ... බොහෝ විට මේ භූමිප්‍රදේශ සීමා ආරක්ෂා කර ගැනීම ආහාර වැනි අත්‍යවශ්‍ය දෑ සපයා ගැනීමට මෙන්ම තම වර්ගයා බෝ කිරීම පිණිස වන ලිංගික කටයුතු සඳහා ඇති කර ගත් ප්‍රජනක සීමාවන්ද වෙයි ... මේ ටෙරිටරියන් ආරක්ශා කිරීම සත්ව ලෝකයේ බොහෝ විට සිදු වන්නේ ඇල්ෆා මේල් කෙනෙකු විසින් පාලනය කරන සත්ව රංචු වල බව සත්ව ලෝකය දෙස විමසිල්ලෙන් බලන විට අපට පෙනී යයි ...

ප්‍රයිමේටාවන් වන වඳුරන් සහ වානරයන් මේ තත්වය සම්බන්ධව අනෙකුත් ක්ෂීරපායි සතුන්ට වඩා ඉදිරියෙන් සිටින අතර, ඔවුන්ගේ අනෙකුත් සමාජයීය හැසිරීම් බොහෝමයක්ම මිනිසා සමග සංසන්දනය කල හැකිද වේ ...
තම ලිංගික සහකාරියන් ආරක්ෂා කර ගැනීමට තම රැලේ අනෙකුත් පිරිමි සතුන් එලවා දමන මේ රංචු වල Alfa male,ඒ මගින් ශක්ති වන්තයාගේ ජාන අනාගත පරම්පරාවට ගෙන යාමේ සහජාසීය පරිණාමීය වැඩසටහන ක්‍රියාත්මක කරයි ... නමුත් මේ ලිංගික තරඟ කරුවා පලවා හැරීම පරාජිතයාගේ මරණයෙන් කෙලවර වීම සත්ව ලෝකයේ දකින්නට හැක්කේ ඉතාමත් දුලබවය ... ඒ ද, යම් අතපසු වීමකින් මිස හිතා මතාම මරණයට පත් කිරීමේ අදහසින් පහර දීමකින් නොවේ ...

Alfa male කෙනෙකු විසින් පාලනය කෙරෙන සහ මිනිසාට වඩාත් සමීප ජාන සහිත වානරයන් වන චිම්පන්සීන් මේ ටෙරිටරි ආරක්ෂා කර ගැනීම පිණිස කරන ක්‍රියා දාමයන් අනෙක් වානර රංචු වලින් වෙනස් වන්නේ, ඔවුන් තම ටෙරිටරි ආරක්ෂා කරගැනීම පිණිස තම අසල් වාසී චිම්පන්සි රංචු සමග කලහයට යාම සහ පරාජිතයන් මරා ආහාරයට ගැනීම නිසායි ... මෙය වෙනත් කිසිදු ක්ෂීරපායී සතුන් අතර මෙන්ම වෙනත් කිසිදු ප්‍රයිමේටාවන් අතර දක්නට නොලැබෙන්නකි ...

මීට සමගාමීව තම අසල් වාසී ගෝත්‍ර සමග යුද වදින වනචාරී ගෝත්‍රිකයන් තම පරාජිතයන් අනුභව කිරීම අද වන විටද අපට ඉඳ හිට ආරංචි වන අතර,බොහෝ විට මේවාට හේතුව ඒ ගෝත්‍රිකයන් අතර පවතින ආගමික විශ්වාසයන් බව ඒ සම්බන්ධව විමසිලිමත්ව බැලූ කල පෙනී යයි ... චිම්පන්සීන් මෙන් හුදෙක් ආහාර සඳහා නොව, මේ වනචාරී ගෝත්‍රිකයින් තම පරාජිතයන්ගේ මාංශ අනුභවය නිසා ඔවුන්ගේ භූතාත්ම වලින් ආරක්ෂා වීම, එම පරාජිතයන්ගේ ආත්ම වල ශක්තිය උරා ගැනීම වැනි විශ්වාසයන් නිසා මෙවැනි දෑ කරණු ලබති ...

දැනට ප්‍රාග් ඉතිහාසයේ සිදු වුන පැරණිම සමූල ඝාතනය ලෙස පුරා විද්‍යාත්මකව සොයාගෙන ඇත්තේ මීට වසර 14,000 කට පෙර උතුරු සූඩානයේ සිදු වූ සමූල ඝාතනයක් වන අතර,ඊට පසු කාලවල සිදු වූ සමූල ඝාතනයන් රැසක්ද මේ වන විට සොයා ගෙන ඇත ... මේ සියලු ප්‍රාග් ඓතිහාසික සමූල ඝාතන හෙවත් යුද්ධයන් මීට වසර 15,000 කින් පසු කාල වල සිදු වීම විශේෂ කාරණයක් වන අතර, මේ සියළු ප්‍රාග් ඓතිහාසික යුද්ධයන් සඳහා දුනු ඊතල සහ හෙල්ලයන් පාවිච්චි කර තිබීමද විශේෂ ලක්ෂණයක් ලෙස හඳුනා ගත හැකිය ...

මේ කාලය වන විට මිනිස් සමූහයා දඩයක්කාර එකතු කරන්නන්ගේ යුගයේ අවසාන කාලයේ පසු වූ අතර, ඔවුන් තුල යුගලන පවුල ස්ථාපනය වීමට පටන් ගෙන තිබුණි ...

සතුන් අතර ටෙරිටරි අර්බුද ඇතිවන්නේ, පැවැත්මේ මූලික අංගයන් වන ආහාර සහ ප්‍රජනක කටයුතු සඳහා පමණක් වන අතර, මේ ටෙරිටරි අර්බුද වලදී ඔවුන් තනිව හෝ සාමූහිකව, තම වර්ගයේ වෙනත් සතුන් හෝ කණ්ඩායම් සමග ඒ වෙනුවෙන් සටන් කරති... චිම්පන්සීන් හැරුණු විට වෙනත් සතුන් වැරදීමකින් මිස, තම වර්ගයෙන් පිටස්තර සතුන් මරා දැමීමක්,  සමූල ඝාතනය කිරීමක් සිදු නොකරති ... මිනිසාද අනෙකුත් සතුන් සේම ආහාර සහ ලිංගික කටයුතු පාදක කොටගෙන තම ටෙරිටරිය ආරක්ෂා කරගැනීම සඳහා තමනට පිටස්තර ජන වර්ග සමග සටන් කලද, සතුන්ට වඩා නියත ලෙසින්ම වඩා සංවිධිත ලෙස එහි නියැලෙයි ... එය වඩාත් සැලසුම් සහගතව සහ තාක්ෂණිකව සිදු කරණු ලබයි ... බොහෝ විට තම ටෙරිටරිය ආරක්ශා කර ගැනීමට වඩා තම ටෙරිටරිය විශාල කරගැණීම උදෙසා සටන් කරනු ලබයි ...

මෙය ජීව විද්‍යාත්මක සැලසුම අභිබවා ගිය "සංස්කෘතික" එකක් වෙයි ...

එක් මානව රංචුවක් තවත් මානව රංචුවකින් වෙනස් වීමට ප්‍රධානතම හේතුව වන්නේ ඔවුන් විසින් අත් පත් කරගත්තාවූ සංස්කෘතියයි ... මේ කියන්නාවූ සංස්කෘතිය නම් කාරණාවේදී, යම් මානව රංචුවක් එකට බැඳ තබා ගන්නාවූ ප්‍රධානතම සංඝටකය වන්නේ ඔවුන්ගේ ඇදහීම් සහ විශ්වාසයි ... මේවා "ආගම්" යනුවෙන් මිනිසා විසින් ලෙස හඳුන්වනු ලබයි ... වනචාරී ගෝත්‍රවල සිට රොකට් තාක්ෂණය පිලිබඳව කෙල පැමිණි මිනිස් රංචු අතර පවා මෙම ආගම නමැති සංස්කෘතික සංඝටකය එකසේ පවතිනු අපට දක්නට ලැබෙයි ...

තම රංචුව හෙවත් "ජාතිය" කිසියම් සතෙකුගෙන් පැවැත එන්නේයැයි විශ්වාස කරන මිනිස් සමූහයාගේ සිට, තමන් යම් කිසි අදෘශ්‍යමාන පාර භෞතික බලවේගයක් විසින් නිර්මාණය කරන ලද සහ එම බලවේගය විසින් අනෙක් මිනිස් රංචු හෙවත් ජාතීන්ට වඩා සුවිශේෂී ලෙස කරුණාව දැක්වීමට කල් තියා තීරණය කරන ලද තෝරා ගන්නා ලද මිනිස් සමූහයෙකැයි විශ්වාස කරන මිනිස් රංචු දක්වා මෙම ආගම නම් සංඝටකය නොයෙක් ආකාරයෙන් මිනිස් සංස්කෘතීන් තුල අඩංගු වී ඇති බව පෙනෙයි ... මේ එක් එක් මිනිස් රංචු විසින් තමන්ගේ රංචුව පිළිබඳව මහත් අභිමානයක් ඇති කර ගෙන සිටින අතර, මෙය “ජාතිකාභිමානය” යනුවෙන් මිනිස් වර්ගයා විසින් අඳුන්වාගනු ලබයි ...

මේ කීවාවූ විවිධ සංස්කෘතීන් වලට අයත් මිනිස් රංචු, තමනට වඩා වෙනස් සංස්කෘතියක ජීවත්වන තවත් මිනිස් රංචුවක් දෙස අවිශ්වාසයෙන් බැලීමට පුරුදු වී සිටීම හෙවත් Xenophobia ව (ආගන්තුකයා කෙරෙහි ඇති භීතිය) ඓතිහාසික මානසික අසාමාණ්‍යතාවකි ... මෙය අනෙකුත් මානසික අසාමාණ්‍යතා මෙන් නොව, අධ්‍යාපනය සහ ඉතිහාසය නම් සංස්කෘතික කාරණා හෙවත් මාධ්‍යයන් හරහා පරම්පරාවෙන් පරම්පරාවට උරුම වන මානසික අසාමාණ්‍යතාවකි ... අනිත් අතට, බෝ වන මානසික අසාමාණ්‍යතාවකි ... මේ Xenophobia ව, මේ වන විට ලෝකය පුරාම නොයෙක් මූණු වර වලින් මිනිස් රංචු අතර ගැවසෙනු පෙනෙයි ...

මේ Xenophobia ව සතුන් අතර පවා යම් කිසි ආකාරයකට ඇති බව අපේ ගෘහාශ්‍රිත බල්ලාගේ හැසිරීම නිරීක්ෂණය කල විට අපට පෙනේ ... තම ආහාරය හෝ ලිංගික ක්‍රියාවලියට අනාගතයේ පැමිණිය හැකි බාධාවන් මැඩ පවත්වා ගැනීම පිණිස බල්ලා තම ටෙරිටරියට පිටතින් පැමිණෙන වෙනත් බල්ලකු සමග ආරවුල් ඇති කර ගැනීමට තැත් කරයි ...

මේ ටෙරිටරිය සම්බන්ධ අර්බුද සැම විටම ඇති වන්නේ ඇල්ෆා මේල් කෙනෙකු සිටින සත්ව රංචු දෙකක් අතර හෝ පුරුෂ කේන්ද්‍රීය / පුරුෂ මූලික මිනිස් රංචු අතර බව මේ පිළිබඳව කිට්ටු වී බැලූ විට පෙනී යයි ... මේ පුරුෂ මූලික සමාජය යනු, පුරුෂයා විසින් සිය ආධිපත්‍යය සහ අණසකට යටත් කර ගත් සමාජයක්, මිනිස් රංචුවක් බව නොකිව මනාය ...

එහි පුරුෂාධිපත්‍යය පවතී ... සියලු නීති රීති සහ විශ්වාසයන් "පියා" මූලික කරගත් දේ වෙයි ... මේ මිනිස් රංචු වල සංස්කෘතික කාරණා වලදී පුරුෂයා හට මූලිකත්වය හිමි වෙන අතර,පෙලපත් නාමය පවා "පියා" මූලික කර ගත්තක් වෙයි ... අධ්‍යාපනය, දැනුම පවා පුරුෂ කේන්ද්‍රීය වෙයි ...

ඒ අතරම, පුරුශාධිපත්‍ය ලෝකයේ නොයෙක් ආකාරයෙන් විවාදයට ලක් වී ඇති කාරණාවක් වෙයි ... එමෙන්ම මේ වන විට එයට විරුද්ධව ස්ත්‍රීවාදය නම් වාදයක්ද ඇතිවී තිබේ ...

මිනිසා ස්වභාවිකවම පුරුෂ මූලික සත්වයෙක්ද?
නොඑසේනම් ලෝකයේ මිනිස් රංචු අතර "පුරුෂාධිපත්‍යය" ඇති වන්නේ කවදාද? 

පලමු වැන්නට පිලිතුර වන්නේ "නැත" යන්නයි ... මිනිසාගේ වයස අද වන විට අවුරුදු 200,000 ක් නම්, එයින් අවුරුදු 185,000 ක කාලයක් පුරාවට ඔවුන් මාතෲ මූලික සමාජවල දිවි ගෙවා ඇති බව පුරා විද්‍යා සාධක අනුව පෙනී යයි … එනයින්, මිනිසා ස්වභාවිකවම පුරුෂ මූලික සතෙකු නොවන බව අපි දනිමු ...
එසේනම්, මිනිසා පුරුෂ මූලික සත්වයෙකු බවට පත් වන්නේ අදට වසර 15,000 කට පසු කාලයේ බවට පිලි ගැණීමට තරම් පුරා විද්‍යාත්මක සාධක මේ වන විට සොයා ගත හැකිය ...

යුගලන පවුලේ උත්පත්තිය (Monogamy) හෙවත් එක පිරිමියෙකු හට එක ගැහැණියක් අත් පත් කර ගැනීමට ඉඩ ලැබීම පුරුශාධිපත්‍යයේ පාදම වෙයි ... තමන්ට දාව යම්කිසි ගැහැණියකගෙන් උපන් දරුවාත්, දරුවාගේ මවත් මේ යුගලන පවුලේ හිමිකරු, එනම් ස්වාමි පුරුශයාගේ පලමු දේපල වීය ... තම පවුලට අයත් බිම් සීමාව ඔහුගේ ටෙරිටරිය වීය ... මෙය ආරම්භයේදී සමූහ වාසී ගල් ගුහාවක යම් නිශ්චිත කුඩා ඉඩක් වූවාට සැක නැති අතර, එය සමූහයේ අනෙකුත් පිරිමි විසින් ආක්‍රමණය නොකරන්නට ඇති ඉඩ කඩද බොහෝ වෙයි ...

මෙකල මෙන් නොව, එකල මිනිස් ආයු කාලය අවුරුදු 30 කට වඩා වැඩි නොවුනු අතරම, අධික මාතෲ මරණ අනුපාතය විසින් මිනිස් රංචුවක ස්ත්‍රී ජන ගහණය නිතරම අඩු මට්ටමක තිබෙන්නට ඇත ... ඒ අතරම දැනටත් අප්‍රිකානු රටවල ගෝත්‍රික සිරිතක් ලෙස ඉතිරිවී පවතින, මිනිස් රංචුවේ නායකයාට බිරින්දෑවරුන් කැමති පමණ තබා ගත හැකි වීම නිසාත් කෘතීම ආකාරයකට මිනිස් රංචුවක ස්ත්‍රී ප්‍රමාණය සියළු පුරුශයන්ට සරි නොවන සේ අඩු වන්නට ඇත ... මෙයට එකම පිලිතුර අසල්වාසී මිනිස් රංචු සමග යුද වැද, ඒවායේ පිරිමි සමූල ඝාතනය කොට ඒවායේ ස්ත්‍රීන් සහ ලමයින් අල්ලා ගැනීමය ... මෙය අදටත් ආදි වාසී ගෝත්‍රිකයන් අතර දකින්නට ලැබෙන අතර, දියුණු තාක්ෂණික ආයුධ සහ උපකරණ යොදාගෙන කරන නූතන යුද්ධ වල පවා ගැහැණිය ලිංගික භාණ්ඩයක් ලෙස භාවිත කිරීම, විකිණීම හරි හරියට සිදුවෙයි ...

මෙහි තේරුම මිනිස් රංචු වල ටෙරිටරි ආක්‍රමණය කිරීම පසු පස ඇත්තේත් අනෙක් සාමාන්‍ය සතුන්ගේ මෙන්ම ආහාර සහ ලිංගික ආශය වෙනුවෙන් කරන යුධ ප්‍රයාණයන්ම බවයි.

අනිත් අතට, ලෝකයේ මේ දක්වා ඇතිවූ සියළු යුධ ප්‍රයාණයන් "පුරුෂයා" මූලික වී කරන ලද්දාවූ ජන සංහාර නොවේද?

පිරිමි මිනිසා හට මේ ටෙරිටරි ආරක්ෂා කරගැනීමට සහ ටෙරිටරි ආක්‍රමණය කිරීමට ඔහුව පොළඹවන්නේ ජෛව විද්‍යාත්මක වැඩ සටහනකට වඩා, ඉන් එහා ගිය සංස්කෘතික කාරණකි ... ඓමෙන්ම එය මෙතෙක් පුරුෂ කේන්ද්‍රීය මනෝවිෂ්ලේශණය මගින් හඳුනා නොගත් මානසික අසාමාණ්‍යතාවකි ... පිරිමි මිනිසා හට “පියා” සොයාගැනීමටත්, යුගලන පවුල නිර්මාණය කර ගැනීමටත්, ඒ හරහා පුරුෂාධිපත්‍යය (Male superiority) නිර්මාණය කර ගැනීමටත්, ඒ හරහා මුලු මහත් ලෝකයම අත්පත් කර ගැනීමටත් ඔහුව මෙහෙයවන්නේ "පුරුශාත්ම හීනනය" (Male inferiority) නම් මානසික අසාමාණ්‍යතාවයයි ... තවද, අප අත් විඳින පරිසර විනාශය සහ ගෝලීය උෂ්ණත්වය ඉහල යාමේ පාදම පවා මේ "පුරුෂාත්ම හීනනය" නම් මානසික අසාමාණ්‍යතාවයයි...

ප්‍රාග් ඓතිහාසික යුධ ප්‍රයාණවල සිට මේ දක්වා සිදු වෙන මහා ජන ඝාතක යුද්ධයන් වල මූල හේතුව මෙම මානසික අසාමාණ්‍යතාවයයි ... ලෝකයේ පුරුෂාධිපත්‍යය ඇති සෑම තැනකම මේ මානසික ව්‍යාධිය පැතිර ඇති අතර, පුරුෂ කේන්ද්‍රීය දැනුම සහ අධ්‍යාපනය ඔස්සේ මෙය අනාගත පරම්පරා වෙත සම්ප්‍රේෂණය වෙයි ...

ආගම සහ ඇදහීම් ඔස්සේ මෙය අපේ උපවිඥානය තුලට කාවද්දයි ...

බාල කාලයේ අසන ප්‍රේමණීය සුරංගනා කතා හරහා පුරුෂාධිපත්‍යය අපේ වැඩිහිටි ජීවිත තුල තාර්කික කරවයි ...

මොකක්ද මේ පුරුෂාත්ම හීනනය?
මානව චාරිකාව තුල එහි පහල වීම කෙසේ සිදු වීද?

දරුවන් වැදීම ආශ්චර්යයක් ලෙස සලකන ලද සහ ස්ත්‍රීත්වය වන්දනා කල ආදී කාලීන මාතෲ මූලික සමාජයක ජීවත් වූ ජෛව විද්‍යාත්මක පිරිමි මිනිසා, ජෛව විද්‍යාත්මක ස්ත්‍රියට වඩා පහත් සමාජ වටිනාකමක් ඇති කෙනෙක් වීය ... තමන්ගේ බාහු බලය හැර, අනෙකුත් සියළුම සමාජයීය කටයුතු වලදී ඔහු සිය ගෝත්‍රයේ ස්ත්‍රියට වඩා පහත් තැනක් ගත්තේය ... ස්ත්‍රියට ජෛව විද්‍යාත්මකව හිමි මාසික ඔසප් වීම පවා පූජනීය දෙයක් වූ අතර, පිරිමියා සමාජයේ දෙවැනි පංතියේ ගෝත්‍ර වැසියෙකු විය ... එසේම ජෛව විද්‍යාත්මක පිරිමි මිනිසාගේ එකම අවිඥාණික අභිලාශය සහ හැඟීම වූයේ තමන්ටම අයිති වාසිකම් කිව හැකි ගැහැණියක ලබා ගැනීම සහ ඒ හරහා තමන්ගේ මව, එනම් Primary caregiver ගෙන් ඔහුගේ ළදරු කාලය තුල මොලයේ ලිම්බික් පද්ධතියේ හණ ගසන (Limbic imprint) ලද ආදරයට, ආරක්ෂාවට සහ පසු කාලයේ ලිංගික උද්දීපනයට (Sexual arousal) හේතු වන Oxytocin රසායණය උද්දීපනය කර ගැනීම වීය ...

ඒ කාලයේ ස්ත්‍රියක් සින්නක්කර ලෙස අත් පත් කර ගැනීම හිතළුවක් පවා නුවූ කාරණයක් වූ අතර, තම පුරුෂ ලිංගික සහකරුවන් තෝරා ගැනීම තනිකරම ස්ත්‍රියගේ කැමැත්ත පරිදි සිදු වීය ... බොහෝ විට ස්ත්‍රිය වරෙකට පිරිමින් කීප දෙනෙකු සමග සංවාසයේ යෙදුනු අතර, මේ සඳහා පරිණාමය විසින් සකසන ලද සහ අදටත් ස්ත්‍රිය කෙරේ ඇති බහු සුරාන්ත ශක්‍යතාවය ඉවහල් වීය ...

ස්ත්‍රියක තනිව අයිතිකර ගැනීම හෙවත් ප්‍රාථමික ආරක්ෂකයාගේ (Primary caregiver) ආදරය සහ ආරක්ෂාව නැවත ලබා ගැනීම පිරිමියාගේ අවිඥාණික සහ හැඟීම්බර අභිලාශයක් වූ අතර,මෙම "දෙවැනි පංතියේ ගෝත්‍ර වැසියා" තම ලිංගිකත්වය, එනම් තමන් ජෛව විද්‍යාත්මක පිරිමියෙකු වීම පිලිබඳ පොදු හීනමානයකින් (Collective inferiority) පසු වීය ...

පිරිමියාගේ මෙම "පොදු හීනමානය" හෙවත් collective inferiority පුරුෂාත්ම හීනනය (Male Inferiority) නම් වෙයි ... මෙය දැනට පවතින පුරුශ කේන්ද්‍රීය මනෝ විශ්ලේෂණය තුල හඳුනා නොගත් (හෝ ඉතාමත්ම අඩුවෙන් සැලකිල්ලට භාජනය වූ) ලෝකයේ මානව වර්ගයා අතර මුලින්ම ඇති වූයේයැ යි සිතිය හැකි මානසික අසාමාණ්‍යතාවයයි ... තවද ජෛව විද්‍යාත්මක ස්ත්‍රිය බහු කාර්‍ය ශක්‍යතාවක් ඇති සහ පිරිමියාට වඩා මානසික ආතතීන්ට ඔරොත්තු දෙන ආකාරයෙන් නිර්මාණය වී ඇති අතර, ඇයට සාපේක්ෂව ජෛව විද්‍යාත්මක පිරිමියා බොහෝ අතින් අසරණ සත්වයෙක් වීමත් අද පවා පවතින මේ හීනමානයට හේතුවක් වෙයි ...

නොයෙක් ක්ෂීරපායීන් මනෝභ්‍රාන්තිකයන් (Psychedelic) අත් හදා බලන්නා සහ ඒවාට ඇබ්බැහි වන්නා සේම මේ අපේ ආදී මිනිසා ද මනෝභ්‍රාන්තිකයන් අත් හදා බලන්නට පටන් ගත් අතර,ඒ හරහා ඔහුගේ මොළයේ Oxytocin, Serotonin මෙන්ම Dopamine යන ජෛව රසායණිකයන් ඉහල නගින්නට පටන් ගෙන,ඔහුගේ පරිකල්පන හැකියාව අවදි වන්නට පටන් ගත්තේය ... මේ හරහා What? Why? How? වැනි ප්‍රශ්ණ ඔහුගේ මොළය තුල පැන නැගීමට පටන් ගත්තේය ... එනිසාම ඔවුන්ගේ භාෂාව දියුණු වන්නට පටන් ගත්තේය ... ඔවුහු මෙම පරිකල්පණ හැකියාව "දිව්‍යමය" දෙයක් යැයි සිතන්නට පටන් ගත් හ ...

ග්‍රීසියේ වයින් වලට අධිපති දෙවියා බාකුස් සහ සෘග් වේදයේ එන සෝම පානයට අධිපති දෙවියා වන සෝම නම් දෙවිවරුන් නිර්මාණය වූ අතර ඔවුන් පසු කාලයේ අපරදිග සහ පෙරදිග ආගම් වල සහ චින්තන පද්ධතීන් වල බීජයන් බවට පත් වීය ...

එසේම භාෂාව යනු සංස්කෘතියේ පාදම වන අතර අද පවා සමහර ආගමික අභිචාර වලට සහ මානසික සුවකිරීම් (Healings) වලට කංසා,පෙයෝටේ,අයාහුවස්කා, LSD වැනි මනෝභ්‍රාන්තිකයන් යොදා ගනී ...

අතීත ජෛව විද්‍යාත්මක පිරිමි මිනිසා ලිංගික කාර්යය සහ ගැබ්බර වීම පිළිබඳ අභිරහස සොයා ගත් දා, එනම් ස්ත්‍රියක් ගැබ්බරවීම සහ ඊට පිරිමියා,පුරුෂ ලිංගය සහ ශුක්‍රාණුවල දායකත්වය සොයාගන්නා ලද දා, ඔවුන් විසින් යම් ගැහැණියකට උපදින දරුවා සහ පිරිමියා අතර සම්බන්ධය සොයා ගත්තේය ...

මේ "අභිරහස" පිලිබඳ සෙවීමට ඔහුව පොළඹවන්නේ අර පෙර කී "පුරුශාත්ම හීනනය" (Male Inferiority) නම් මානසික අසාමාණ්‍යතාවයයි ... මේ "පුරුශාත්ම හීනනයේ" පලමු නිර්මාණය වන්නේ ඉන් පෙර ඔවුනගේ භාෂාවන් තුල නොවූ "පියා" යන වචනය සොයා ගැනීමයි!

යම් ස්ත්‍රියකට උපදින දරුවා තම ග්‍රහණයට ගෙන,ඒ හරහා දරුවාගේ සහ මවගේ ආධිපත්‍යය තමාවෙත පවරාගෙන යුගලන පවුල නිර්මාණය කර ගන්නට පටන් ගත්තේය ... එක් පිරිමියෙකු හට එක් ගැහැණියක් අත් පත් කරගැනීම දේශපාලන ඇසකින් බලන කල මිනිස් "ඉතිහාසයේ" ප්‍රථම පෞද්ගලික දේපලෙහි ආරම්භයද වෙයි ... හෙවත් ධනවාදයේ පාදම වෙයි ... ඒ හරහා මෙතෙක් කල් ගැහැණියට පමණක් කල හැකි ආශ්චර්යයක් වූ දරුවන් වැදීම, පිරිමියා සහ ඔහුගේ පුරුශ ලිංගයත්, එයින් පිටවන "ශුක්‍ර ධාතූන්" විසින් අත් පත් කරගන්නා ලද අතර ඒ හරහා ජෛව විද්‍යාත්මක පිරිමියා තමාව වන්දනීයත්වයට පත් කරගන්නට දේවල් නිර්මාණය කරන්නට වීය ... Male Inferiority හෙවත් පුරුශාත්ම හීනනය එහි විලෝමය වන Male Superiority හෙවත් පුරුෂාධිපත්‍යය දක්වා රූපාන්තරණය වන්නට පටන් ගත්තේය ...

දඩයමට සහ යුද්ධයට අධිපති බැබිලෝනියානු ඉෂ්ටාර් වැනි දේවතාවියන් පුරුෂ කේන්ඳ්‍රීය ගිල්ගාමේශ් වැනි පුරා කතාවන් තුල ඉන් පෙර භාෂාව තුල නොවූ "වෛශ්‍යාව" වැනි වචන භාවිතයෙන් අපහාසයට පත් කරන ලද අතර,දේව කතා වල දේවතාවියන්ට ඔවුනට වඩා බලවත් ස්වාමි පුරුශයන් නිර්මාණය වන්නට පටන් ගත්තේය ... මව් දෙවඟන වන්දනය වෙනුවට පුරුෂ ලිංග වන්දනය, පුරුෂ දෙවියන් වන්දනය වැනි අභිචාර ආරම්භ වූ අතර,පුරුශ ලිංගය බලයේ සංකේතයක් වන්නට පටන් ගත්තේය ... කෙටියෙන්ම කිවහොත් ඉහත කී Male Superiority (පුරුෂාධිපත්‍යය) විසින් මීට අවුරුදු 4000 දහසකට පමණ පෙර සියළු දේ මැවූ යාහ්වේ නම් සර්වබලධාරි දෙවියන් වහන්සේ සහ ඊට පෙර සහ පසුව තවත් එවැනි පුරුශ දෙවිවරු මැව්වෝය …

මේ පුරුෂාධිපත්‍යය හෙවත් Male Superiority පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන යාම සඳහා භාෂාව ලේඛන ගත කිරීමට පටන් ගත් ඔවුහු, යුගලන පවුල සහ ඒ හරහා ගොඩ නගා ගත් Male Superiority හෙවත් පුරුෂාධිපත්‍යයද ටිකෙන් ටික ලෝකය පුරා ව්‍යාප්ත වන්නට පටන් ගත් අතර,තනි පුරුෂයෙකුගේ ටෙරිටරිය හෙවත් ඔහුගේ යුගලන පවුලේ ටෙරිටරිය,ගෝත්‍රයේ ටෙරිටරිය දක්වා ව්‍යාප්ත වන්නට පටන් ගත්තේය ... වඩාම ශක්ති වන්ත සහ දඩයමට ශූර පුරුෂයා ගෝත්‍රයේ නායකයා බවට පත් වීම ඇරඹුණි ... අවට ගෝත්‍රයන්හි ස්ත්‍රීන් සහ ලමයින් අල්ලා ගැනීමට යුද්ධ ප්‍රයාණයන් දියත් කල අතර, ඒ මගින් මේ ගෝත්‍රයන් සුපිරි ගෝත්‍රයන් බවටත්, සුපිරි ගෝත්‍රයන් ප්‍රාදේශීය රාජාණ්ඩු දක්වාද, රාජාණ්ඩු අධිරාජ්‍යයන් දක්වාද, කාලයාගේ ඇවෑමෙන් අද අප දකින ජාතික හෝ වෙනත් ආකාර පාලන ක්‍රමයන් පවතින රාජ්‍යයන් දක්වාද වැඩි දියුණු විනි ... ආගම,චින්තනය,නීතිය,අධ්‍යාපනය,කලාව,දේශපාලනය,ආර්ථිකය ආදී සියලු දේ පුරුෂයා නගා සිටවීම සඳහා යොදා ගත්තෝය ... ගිල්ගාමේශ් වීර කාව්‍යය මෙහි ආදීතම උදාහරණය වන අතර,එය ලේඛණය සම්බන්ධව අපට හමුවන පැරණිම සාක්ෂියයි ... ඉතාමත්ම කෙටියෙන් කිවහොත් පිරිමියා විසින් ඔහුගේ ආරක්ෂාවට "ඉතිහාසය" ආරම්භ කලෝය ... අද අප විසින් "පරිභෝජණය" කරන ධනවාදය,ගෝලීය පරිසර හානිය ආදී නොයෙක් ආකාර "සමාජ රෝගයන්" හි මූල හේතුව (Root cause) වන්නේද මේ කිවාවූ පුරුශාත්ම හීනනයයි ... මේ සියල්ල අතරතුර, අදටත් පැපුවා නිව් ගිනියාවේ යුධකාමී Dani ගෝත්‍රිකයන් තම ඇඳුම ලෙස භාවිත කරන්නේ පුරුෂ ලිංගය වසා ගැනීමට භාවිත කරන අඩියකට වඩා දිග පුරුෂ ලිංගාකාර ලබු කට්ටක් වන අතර,ඔවුන් ඒ හරහා සංකේතවත් කරන්නෙ දිගු ප්‍රාණවත් වූ පුරුෂ ලිංගයන් සහ ඔවුන්ගේ බලයයි!

යුගලන පවුල සහ ඒ හරහා ගොඩ නගාගත් පුරුෂාධිපත්‍යයද ටිකෙන් ටික ලෝකය පුරා ව්‍යාප්ත වන්නට පටන් ගත් අතර,තනි පුරුශයෙකුගේ ටෙරිටරිය හෙවත් ඔහුගේ යුගලන පවුලේ ටෙරිටරිය,ගෝත්‍රයේ ටෙරිටරිය දක්වා ව්‍යාප්ත වන්නට පටන් ගත්තේය ... වඩාම ශක්ති වන්ත සහ දඩයමට ශූර පුරුෂයා ගෝත්‍රයේ නායකයා බවට පත් වීම ඇරඹුණි ... දඩයමට සහ යුද්ධයට අධිපති බැබිලෝනියානු ඉෂ්ටාර් වැනි දේවතාවියන් පුරුෂ කේන්ඳ්‍රීය ගිල්ගාමේශ් වැනි පුරා කතාවන්හි ඉන් පෙර භාෂාව තුල නොවූ "වෛශ්‍යාව" වැනි වචන භාවිතයෙන් අපහාසයට පත් කරන ලද අතර,දේව කතා වල දේවතාවියන්ට ස්වාමි පුරුශයන් නිර්මාණය වන්නට පටන් ගත්තේය ...

චිම්පන්සීන් වැනි ස්වභාවයෙන්ම ඇල්ෆා මේල් කෙනෙකු මූලික කරගත් සත්ව රංචු මෙන් තම ආහාර සහ ලිංගික කටයුතු සඳහා අවට ගෝත්‍ර සමග යුද වදින්නට පටන් ගත් මිනිසා,තම ගෝත්‍රය සඳහා විශේෂ අනන්‍යතාවන් සාදා ගැනීමට පටන් ගත්තේය. තම ඇදහීම් මුල් කොට ගත් ගෝත්‍රීය අභිචාර සහ ඇඳුම් පැලඳුම්,සුන්නත් කිරීම්,කන් විදීම්,තොල් පලා ලී තැටි සහ ලී කැබලි පැළඳීම්,පච්ච කොටාගැනීම් වැනි ශරීර අවයවයන් කෘතීමව වෙනස් කිරීම වැනිදේ පටන් ගත්තේය ...

මේ ගෝත්‍රයන් විසින් අවට ගෝත්‍රිකයන් සමග යුධ වැදීම ආරම්භ වූයේ,පෙර කී ආහාර සහ ලිංගික කාර්‍යයන් සඳහාම වූ අතර,පරාජිතයාගේ ටෙරිටරිය,ස්ත්‍රීන් සහ ලමයින් ජයග්‍රාහී ගෝත්‍රයන් සතු විය ... අදටත් වනචාරී ගෝත්‍ර අතර මේ ක්‍රියාවලිය මෙසේම සිදු වන අතර,අතීතයේ මෙය කෙසේ සිදු වීද යන්න බයිබලයේ පරණ ගිවිසුමේ සිට නොයෙකුත් මානව විද්‍යාත්මක සහ ඓතිහාසික ලියවිලි වලින් මනාව ඔප්පු වේ ...

යුද්ධය සහ ටෙරිටරි ආක්‍රමණය යනු අතිශයින්ම පුරුෂ කේන්ඳ්‍රීය "සංස්කෘතික" කටයුත්තක් වන අතර,එහි මූල හේතුව පුරුශාත්ම හීනනය (Male Inferiority) නම් මානසික අසාමාණ්‍යතාවය හරහා හට ගත්තාවූ පුරුෂාධිපත්‍යය (Male Superiority) නම් මානසික අසාමාණ්‍යතාවය වෙයි ... මේ පුරුෂාත්ම හීනනයේ බලපෑම කොතරම් ද යත්,එය විසින් පුරුෂයා අසීමිත නිෂ්පාදනයකට පොළඹවා තිබේ. ඒ අතරම අද වන විට පුරුෂ නිර්මාණයක් වන ගැහැණිය අසීමිත පාරිභෝජනයකට පොළඹවා,අප ජීවත් වන ලෝකය අනාගත පාරිසරික අර්බුදයකට පවා යොමු කර තිබේ ...

ලෝකයේ අවසානය යුද්ධයක් හෝ පාරිසරික අර්බුදයක්ද යන්න නොතකා,මේ ද්විත්වයම එකම මානසික අසාමාණ්‍යතාවයක (පුරුශාත්ම හීනනයේ) ප්‍රතිඵල වීම නොසලකා හැරිය නොහේ ...

අද වන විට "මහා ගෝත්‍ර" බවට පත්ව ඇති "රටවල්", ඔවුන්ගේ පුරුශාත්ම හීනනයේ (Male Inferiority) ප්‍රතිලෝමය වන පුරුෂාධිපත්‍යය (Male Superiority) මත පිහිටා එක් අතකින් අධි නිෂ්පාදනය හරහා තම තමන්ගේ "පුරුෂ භාවය" අනෙකුත් මහා ගෝත්‍ර වලට ඔප්පු කර ලීමට "ආර්ථිකමය ටෙරිටරි" ආක්‍රමණයන් කරන අතරම,අනෙක් අතින් භූ මට්ටමින් කරන "යුද්ධ ප්‍රයාණ" නම් ටෙරිටරි ආක්‍රමණ හරහා තම "පුරුෂ භාවය" තමන්ටම ඔප්පු කර ගැනීමට තැත් කරයි ...

ජෛව විද්‍යාත්මක පිරිමියාට වඩා බොහෝ ඉදිරියෙන් සිටින ජෛව විද්‍යාත්මක ගැහැණිය අත් පත් කරගැණීමට,අතිශයින් පුරුෂ මූලික සමාජවල ජීවත් වෙන නූතන පිරිමියා පවා කෙතරම් උත්සාහ කරන්නේද යන්න,ඕනෑම සමාජයක පවතින ආදර ගීත,කවි වැනි ඉතා සරල සංස්කෘතික අංගයන් විශ්ලේෂණය කල විට පවා අපට පැහැදිලිව පෙනේ ...

භාෂාව,ආගම,නීතිය,දර්ශණය,සාහිත්‍යය සහ කලාව,දේශපාලණය සහ දේශපාලණික දර්ශණ ආදී නම්වලින් අප විසින් හඳුන්වනු ලබන, පුරුශාත්ම හීනනය (Male Inferiority) විසින් උත්පාදනය කරන ලද දැනුම් පද්ධතීන්ගේ එකතුවකින් මේ යුගලන පවුල (Monogamous Family) සහ පුරුෂාධිපත්‍යය (Male Superiority) පොලොවේ සිටුවා තිබේ ... හෙවත් එයට පිරිමියා සහ ගැහැණිය බැඳ දමා තිබේ ...

පුරුෂාත්ම හීනනය, පුරුෂාධිපත්‍යය,පුරුෂ මූලික ආගම්,ජාතිකත්වය,රාජ්‍යය සහ යුද්ධය අතර සහ සම්බන්ධය සොයා ගැනීම “ආගම,රාජ්‍යය සහ යුද්ධය” හරහා ඔබට භාර කරමු ...